පැරිස් ඔලිම්පික් උළෙලේ තම රටට එරෙහි එදිරිවාදිකම් පිළිබඳ චීනයෙන් අනාවරණයක්

මේ වන විට පැරිස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 20 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගනිමින් චීනය සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී සිටී. එවැනි අවස්ථාවක චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවලට නිසි ඇගයීමක් ලැබිය යුතු නමුත්, බටහිර රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් ම මාධ්‍ය ද ඔවුන්ට කෙරෙහි දක්වන එදිරිවාදිකම් ඉස්මතු වී ඇතැයි චීනය පෙන්වාදෙයි.

2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ චීන පිහිනුම් කණ්ඩායම තහනම් උත්තේජක භාවිත කළ බවට එල්ල වූ චෝදනා පිළිබඳ පුවත් පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භ වීමට පෙර බටහිර මාධ්‍ය විසින් යළි හුවාදක්වා තිබිණ. එය චීන පිහිනුම් කණ්ඩායම ලබා ගත් ආහාර විස වීමකින් හටගත් තත්ත්වයක් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය නිගමනය කළ ද, බටහිර මාධ්‍ය යළිත් එය ප්‍රචාරය කරමින් තම පිහිනුම් කණ්ඩායමට අපවාද නගා ඇති බව චීනය කියාසිටී.

බටහිර මාධ්‍ය මෙම සිද්ධිය පිළිබඳ දැක්වූ අසාමාන්‍ය උනන්දුව හේතුවෙන් පැරිස් ඔලිම්පික් උළෙලට එක් ව සිටින ඇමරිකාව, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙනස් කොට සැලකීමේ හවුලට එක්ව සිටිති. එම එදිරිවාදීකම් පිහිනුම් ඉසව්වේ සිට ටෙනිස් හා මේසපන්දු වැනි ඉසව්වලට ද ව්‍යාප්ත වී ඇති බව චීනය කියයි. කෙසේවෙතත් පැරිස් ඔලිම්පික් උළෙලට එක්ව සිටින බටහිර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණවලට ලක් කෙරෙන්නේ ඉතා අඩුවෙන් බව ද චීන බලධාරීන් පෙන්වා දී තිබේ.

මේ අතර, පැරිස් ඔලිම්පික් උළෙලට පෙර තරගාවලියක දී Erriyon Knighton නම් ඇමරිකානු මලල ක්‍රීඩකයා Trenbolone නමැති තහනම් උත්තේජකය ලබා ගෙන ඇති බවත්, එය ආහාර විස වීමකින් නිර්මාණය වන්නක් නොවන බවත් අනාවරණය විය. එසේ හිතාමතා උත්තේජක ගත් ක්‍රීඩකයෙකුට වසර 4 ක තරග තහනමක් පැනවීමේ රෙගුලාසියක් පැවතිය ද ඇමරිකානු ඔලිම්පික් කමිටුව ඔහුට පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගිවීමට අවසර දී තිබේ.

ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිගු කලක් තිස්සේ, ජාත්‍යන්තර තහනම් උත්තේජක පරීක්ෂණ ක්‍රමවේදය නොතකා තරගවලට එක්වන බව ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සිය විසින් ද පෙන්වා දී ඇතැයි චීන බලධාරීහු පවසති.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *