න්‍යෂ්ටික අවි සහිත රටවල් එම අවි “ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ” ගිවිසුමට අදාළව චීනයෙන් යෝජනා.

න්‍යෂ්ටික අවි ව්‍යාප්තිහරණ ගිවිසුමේ එකොළොස්වැනි සමාලෝචන සමුළුව සඳහා සූදානම් වීමේ දෙවැනි රැස්වීම ඇරඹේ. පසුගිය 22 වැනිදා එය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. චීන විදේශ අමාත්‍යාංශයේ, අවි පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි Sun Xiaobo මහතා මෙහිදී පැවති පොදු විවාදයේ දී අදහස් දැක්වීය.

ඔහු එහිදී යෝජනා කළේ, න්‍යෂ්ටික අවි සතු රටවල් පහ සාකච්ඡා පවත්වා, “න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකරන බවට” ගිවිසුමකට එළඹීමට හෝ ඊට අදාළව දේශපාලන ප්‍රකාශයක් නිකුත් කිරීමට පියවර ගත යුතු බවයි. මේ සම්බන්ධයෙන් කෙටුම්පත් කර ඇති ගිවිසුමේ අන්තර්ගත කරුණුවලට අදාළව චීනය යෝජනා ඉදිරිපත් කර ඇත. ඒ අනුව, එම ගිවිසුමට අත්සන් කරන රටක්, කිසිදු අවස්ථාවක හෝ කිසිදු තත්ත්වයක් යටතේ ගිවිසුමේ සෙසු සාමාජික රටකට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරන පළමු පාර්ශ්වය බවට පත් නොවිය යුතුය.

එසේම, “න්‍යෂ්ටික අවි පොදුවේ බෙදාගැනීම” සහ “න්‍යෂ්ටික බියගැන්වීම් ව්‍යාප්ත කිරීම” පිළිබඳ ක්‍රියාමාර්ග අතහැර, වෙනත් රටවල රඳවා ඇති සිය න්‍යෂ්ටික අවි ඉවත් කර ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

මේ අතර, ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාවට, අධිසාන්ද්‍ර යුරේනියම් අන්තර්ගත ආයුධ හුවමාරු ඇතුළත් වන බැවින් එය බරපතල න්‍යෂ්ටික අවදානමකට තුඩුදෙනු ඇතැයි ද Sun Xiaobo මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං වාර්තාකරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *