උතුරු කොරියාව සමග පවතින දිගුකාලීන මිත්‍රශීලී සම්බන්ධතා සවිමත් කිරීම පිළිබඳ තම ස්ථාවරය වෙනස් නොවන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව කියාසිටියේය.
කොරියානු යුද්ධය නිමා වීමේ 71 වැනි සංවත්සර උළෙල පසුගියදා උතුරු කොරියාවේ දී පැවැත්විණ. රුසියාව, වියට්නාමය, කියුබාව ඇතුළු රටවල තානාපතිවරුන් සහභාගි වූ එම උළෙලට චීන තානාපතිවරයා එක් නොවීය. චීන-උතුරු කොරියානු සබඳතාව ගැටලුකාරී බවත්, උතුරු කොරියානු සබඳතාවන්ට අදාළව චීනය හා රුසියාව අතර පවතින තරගය ඉන් පිළිබිඹු වන බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවන් හි පළ වී තිබිණ.
ඒ පිළිබඳව අදහස් දක්වමින් Lin Jian මහතා පැවසුවේ, උතුරු කොරියාව සමග පවතින මිත්‍රශීලි සබඳතා වර්ධනය හා අගය කිරීමේ චීන ස්ථාවරය වෙනස් නොවන බවයි. වසර 71 කට පෙර චීන මහජන ස්වේච්ඡා හමුදාව, උතුරු කොරියානු ජනතාව හා හමුදාව සමග දැඩි ප්රයත්න දරා කොරියානු යුද ජයග්‍රහණය හිමිකරගෙන තිබේ. ඒ අනුව දෙරට අතර පවතින්නේ කිසිදා බිඳිය නොහැකි ඓතිහාසික මිතුදමක් බව බව Lin Jian මහතා අවධාරණය කළේය.
උතුරු කොරියාව මෙන්ම රුසියාව, චීනයේ මිත්‍රශීලී අසල්වැසි රටවල් වේ. එම දෙරට අතර සබඳතා වර්ධනය වීම හා ඔවුන් කලාපීය සමාය හා ස්ථාවරත්වය වෙනුවෙන් දක්වන දායකත්වය චීනයේ ඉහළ පිළිගැනීමට ලක්වන බව ද ඔහු පැවසීය.
අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට.