හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාංශ නායක ඉස්මයිල් හනියා අද (31) ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනයට ලක්ව ඇති බව එම සංවිධානය තහවුරු කරයි.
හෙතෙම ටෙහෙරාන් නුවරට පැමිණ ඇත්තේ, ඉරානයේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහායි.
හමාස් සංවිධානයේ නිවේදනයට අනුව ඉස්මයිල් හනියා ඊයේ (30) ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කින් සහ එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි හමු වී තිබේ. ඉරාන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වී නිවසට පැමිණීමෙන් පසු ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. හමාස් ප්‍රධානියා සහ ඔහුගේ ආරක්ෂකයෙකු ඉන් මිය ගොස් තිබේ.
හමාස් සංවිධානය ප්‍රකාශ කළේ මෙම ඝාතනය ඊශ්‍රායලය විසින් සිදු කර ඇති බවයි. එහෙත්, ඊශ්‍රායල හමුදාව මෙතෙක් එම සිද්ධිය පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
කෙසේවෙතත්, ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශනය කරමින්, ඊට වගකිව යුතු පාර්ශ්ව හෙළිදරව් කරන බව ඉරානය අවධාරණය කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියැන් අද (31) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දැක්වීය. ඔහු පැවසුවේ, එම ඝාතනය සම්බන්ධයෙන් ඉහළ අවධානය යොමු කරන චීනය ඊට දැඩි විරෝධය පළ කරන බවයි. කලාපීය තත්ත්වය මෙහිදී තවදුරටත් උග්‍ර වීම පිළිබඳ චීනය කනස්සල්ලට පත් ව සිටින බව ද ඔහු කියාසිටියේය.