සියලු රැඳවියන් වහා නිදහස් කිරීමට උපරිම උත්සාහ දරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

ඊශ්‍රායල හෝ පලස්තීන සියලු රැඳවියන් වහා නිදහස් කිරීමට උපරිම රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න දරන්නැයි චීනය ඉල්ලා සිටී. 
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා 4 වැනිදා මේ බව කියාසිටියේ, පලස්තීන ප්‍රශ්නය ඇතුළුව මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී අදහස් දක්වමිනි.

ගාසා තීරයේ දී මිය ගිය ප්‍රාණ ඇපකරුවන් හය දෙනා අතිශය ඛේදජනක අවසානයකට මුහුණ පෑ බව ඔහු එහිදී පැවසීය. චීනය, සිවිල් වැසියන්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය මෙන්ම ජාත්‍යන්තර නීතිය හා මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම ද තරයේ හෙළාදකී. යුද්ධය අඛණ්ඩව පවත්වා ගනිමින්, පූර්ණ ජයග්‍රහණයක් උදෙසා දරන උත්සාහයේ නිෂ්ඵලභාවය පවතින යථාර්ථයෙන් මනාව පැහැදිලි වන බව ද Geng Shuang මහතා අවධාරණය කළේය.

ජනතාවගේ දැඩි ආයාචනාවලට සවන් දෙන ලෙසත්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ජීවිත බේරා ගැනීම සඳහා ප්‍රමුඛතාව දෙන ලෙසත් චීනය ඊශ්‍රායල නායකත්වයෙන් ඉල්ලා සිටී. එසේම,  සටන් විරාමයක් ඇති කර, යුද්ධය අවසන් කිරීමට හැකි උපරිම ප්‍රයත්න දරන ලෙස ද චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව චීන නියෝජිතයා කියාසිටියේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *