චීන – සිංගප්පූරු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා, සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා හමුවී සාකච්ඡා පවත්වයි. එම හමුව බෙයිජිං අගනුවර දී ඊයේ (9) පැවැත්විණ.

ගෝලීය ස්ථාවරත්වය සඳහා ක්‍රියා කරන බලවේග දෙකක් ලෙස චීනය හා සිංගප්පූරුව කැළඹිලි සහිත ලෝකයේ උපායමාර්ගික සම්බන්ධීකරණයත්, සන්නිවේදනයත් ශක්තිමත් කළ යුතු බව වං යී මහතා එහිදී කියාසිටියේය. දෙරටම මේ වසරේ වැදගත් දේශීය සැලසුම් ක්‍රියාවට නංවමින් සිටී. එම ජාතික සංවර්ධන ඉලක්ක ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති බවත්, දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය අධ්‍යයන ඔස්සේ තම නවීකරණයන්හි දියුණුව සඳහා මනා පිටුබලයක් ලබා ඇති බවත් වං යී මහතා පැවසීය.

සිංගප්පූරුව සමග සංවර්ධන උපායමාර්ග සහයෝගිතා ශක්තිමත් කිරීම, දෙරට නායකයන් විසින් හඳුන්වා දෙන ලද උසස් තත්ත්වයේ අනාගතවාදී හවුල්කාරිත්වය ක්‍රියාවට නැංවීම මෙන්ම කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දීම චීනයේ අපේක්ෂාව බව ද ඔහු පෙන්වා දුන්නේය.

සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා එහිදී පැවසුවේ තම රට ‘එකම චීනය’ මූලධර්මයට අනුගත ව ක්‍රියාකරන අතර, ඊනියා ‘තායිවාන ස්වාධීනත්වයට’ අවිවාදිත විරෝධය පළ කරන බවයි.  ලබන වසරට යෙදෙන සිංගප්පූරු – චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 35 වැනි සංවත්සරය නිමිති කර ගනිමින් ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික හුවමාරු හා සහයෝගිතා පුළුල් කිරීමට නව සිංගප්පූරු රජය සූදානම් බව ද ඔහු කියාසිටියේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *