චීන-අප්‍රිකානු කාන්තා අධ්‍යාපනය නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ

චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය සහ අප්‍රිකානු රටවල නායකයන්ගේ ආර්යාවෝ චීන-අප්‍රිකානු කාන්තා අධ්‍යාපනය පිළිබඳ රැස්වීමට සහභාගි වෙති.

එම රැස්වීම 5 වැනිදා උදෑසන බෙයිජිංහි රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේ දී පැවැත්විණ. ගැහැණු දරුවන් හා කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ විශේෂ නියෝජිත, චීන ජනාධිපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය එම රැස්වීමට සහභාගි වී දේශනයක් පැවැත්වූවාය. කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ දී චීනයට සහ අප්‍රිකාවට පොදු අරමුණු ඇති බව ඇය පෙන්වා දුන්නාය.  චීන-අප්‍රිකානු මිත්‍ර සහයෝගිතාවයේ ජීවගුණය ඉදිරියට ගෙන යමින් වඩාත් සුන්දර ලෝකයක් ගොඩනගා ගත යුතු බව ද පෙං ලියුවාන් මහත්මිය කියාසිටියාය.

අප්‍රිකානු රටවල නායකයන්ගේ ආර්යාවෝ පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ. චීනය දිගුකාලීනව අදාළ ක්ෂේත්‍රයේ දියුණුවට ලබා දී ඇති සහාය ඔවුන්ගේ  පැසසුමට ලක් විය. චීනය සමග සහයෝගිතා ශක්තිමත් කරමින් ප්‍රීතිමත් ජීවිතයක් නිර්මාණය කර, කාන්තාවන් වැඩි පිරිසකට සහාය වීම අප්‍රිකාවේ අපේක්ෂාව බව ද ඔවුහු පැවසූහ.

2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සඳහා බෙයිජිං නුවරට පැමිණ සිටින අප්‍රිකානු රටවල් 26 ක නායකයන්ගේ ආර්යාවෝ සහ එම රටවල නියෝජිතවරු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *