අප්‍රිකාව සමග එක්ව අඛණ්ඩව දරිද්‍රතාව පිටුදැකීමට චීනය සූදානම්

අප්‍රිකාව සමග එක්ව දරිද්‍රතාව පිටුදැකීමේ ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම තම රටේ අපේක්ෂාව බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේ, දරිද්‍රතාව පිටුදැකීමේ චීන-අප්‍රිකා සහයෝගිතාවට අප්‍රිකානු මාධ්‍යවල හා විශේෂඥයන්ගේ අවධානය මෑතකාලීනව විශේෂයෙන් යොමුව තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එම සහයෝගිතා තුළින් අප්‍රිකාවේ ධාන්‍ය නිෂ්පාදනය හා ජනජීවිතය යහපත් කිරීම පිළිබඳව නව අපේක්ෂා රැගෙන එන බව ද අප්‍රිකානු විශේෂඥයන් පෙන්වා දී තිබේ.

පසුගිය වසර කිහිපය තුළ චීන-අප්‍රිකා සහයෝගිතා සාකච්ඡා මණ්ඩපයේ රාමුව යටතේ ක්‍රියාත්මක කෙරුණු දරිද්‍රතාව පිටුදැකීමේ වැඩසටහන් උසස් මට්ටමේ ජයග්‍රහණ ලබා ගත් බව Lin Jian මහතා  පැවසීය. චීනය දරිද්‍රතාව පිටුදැකීමේ හා කෘෂිකාර්මික ව්‍යාපෘති 47 ක් අප්‍රිකාවේ ආරම්භ කර ඇත. කෘෂි නිපුණතා පුහුණු වැඩසටහන්වලට එක්වූ පිරිස 9000කට ආසන්න වන අතර,  දියුණු තාක්ෂණික අංග 300ක් ද හඳුන්වා දී තිබේ. ඉන් අප්‍රිකාවේ මිලියනයකට අධික කුඩා පරිමාණ කෘෂි පවුල්වලට ප්‍රතිලාභ හිමි ව තිබේ.චීනයේ දෙමුහුන් බිත්තර වී අප්‍රිකානු රටවල සහල් නිෂ්පාදනය හෙක්ටයාරයකට ටොන් 2 සිට ටොන් 7.5 ක් දක්වා ඉහළ නංවා ඇතැයි ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *