චෝදනා එල්ල කිරීමේ ක්‍රීඩාව නතර කරන්නැයි චීනය ඇමරිකාවට කියයි

“අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කිරීමේ ක්‍රීඩාව නතර කරන්නැයි” චීනය ඇමරිකාවට කියයි.

රුසියානු-යුක්රේන යුද ගැටුම්වලට අවිආයුධ සැපයීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (30) පැවති සාකච්ඡාවේ දී චීනයට අපහාස කළ ඇමරිකානු නියෝජිතයාට ප්‍රතිචාර දක්වමින්, එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Geng Shuang මහතා මේ බව කියාසිටියේය.

චීනය යුක්රේන අර්බුදයේ නිර්මාපකයා නොවන අතර, ඊට සෘජුව සම්බන්ධ පාර්ශ්වයක් ද නොවේ. එසේම, අදාළ කිසිදු පාර්ශ්වයකට අවිආයුධ ලබා නොදෙන චීනය සෑමවිටම යුදමය හා සිවිල් භාණ්ඩවල අපනයනය නිසි ලෙස පාලනය කරමින් සිටින බව ද Geng Shuang මහතා පැවසීය. සත්‍ය වශයෙන්ම ඇමරිකාව ද රුසියාව සමඟ ආර්ථීක හා වෙළඳ හුවමාරු අඛණ්ඩව පවත්වා ඇති බව ද හෙතෙම කියාසිටියේය.

යුක්රේන ප්‍රශ්නය විසඳීමට සාමය හා සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දක්වන දැඩි කැපවීම නොසලකා, ඇමරිකාව කිහිප අවස්ථාවකම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කරමින් චීනයට අපහාස කර ඇත. ඊට දැඩිව විරෝධය පළ කරන චීනය එය පිළිනොගන්නා බව ද Geng Shuang මහතා අවධාරණය කළේය.

“කිසිදු සක්‍රියභාවයකින් තොරව, පදනම් විරහිත චෝදනා පමණක් එල්ල කිරීමේ ක්‍රීඩාව නතර කරන ලෙස” චීනය ඇමරිකානු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බව ද එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Geng Shuang මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *