ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා උපහාර දක්වයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට තම ගෞරවය පුදකරයි. ඔහු පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ‘සිතාගත නොහැකි තරමේ දුක්පීඩා රැල්ලක්’  නිර්මාණය කර ඇති බවයි.

ජගත් සංවිධාන ප්‍රධානියා මේ බව කියාසිටියේ, අගෝස්තු 21 වැනිදා සැමරෙන ත්‍රස්තවාදයේ වින්දිතයින් සැමරීමේ සහ උපහාර දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පැවති උත්සවයකට වීඩියෝ ආකාරයෙන් පණිවුඩයක් නිකුත් කරමිනි. “අපි ත්‍රස්තවාදයෙන් දිවි අහිමිවූවන් සහ දිවි ගලවා ගත් අය සිහිපත් කර ගෞරව කරමු” යනුවෙන් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදී ක්‍රියාවලින් විනාශ කරදැමුණු පවුල්වල ජනතාව ඒ තත්ත්වයෙන් සදහටම පීඩා විඳින බව ද ඔහු පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදයේ වින්දිතයන් සැමරීමේ ජාත්‍යන්තර දිනය ජනතාවට සවන් දීමට සහ ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට ලැබෙන අවස්ථාවකි. සැමවිටම බලාපොරොත්තුවේ ආලෝකය සෙවිය යුතු බව ද මහලේකම්වරයා කියාසිටියේය.

ත්‍රස්තවාදයේ වින්දිතයින් සැමරීමේ සහ උපහාර දැක්වීමේ ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත්කෙරුණේ 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *