චීන රාජ්‍යතාන්ත්‍රිකත්වය තුළ සෞදි අරාබියට සුවිශේෂ තැනක් හිමි බව චීන අගමැති කියයි

චීනය සිය සමස්ත රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ මැදපෙරදිග කලාපය හා සෞදි අරාබිය ප්‍රමුඛ කොට සලකන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. සෞදි අරාබි අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් ඔටුන්න හිමි කුමරු සමග ඊයේ (11) පැවති චීන සෞදි අරාබි උසස් පෙළේ ඒකාබද්ධ කමිටුවේ සිවුවැනි රැස්වීමේ සමසභාපතිත්වය දරමින් හෙතෙම මේ බව පැවසීය.

චීන අගමැතිවරයා එහිදී  සල්මාන් බින් අබ්දුල්සිස් අල් සවුද් රජු සහ ඔටුන්න හිමි කුමරු වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පිරිනැමීය. දෙරට නායකයන්ගේ මාර්ගෝපදේශ යටතේ චීනය සහ සෞදි ආරාබිය අන්‍යෝන්‍ය ගරුත්වය හා විශ්වාසය මනාව පවත්වා ගෙන ගොස් ඇති බව හෙතෙම පැවසීය.

වෙළඳාම, ඛනිජ තෙල් හා ගෑස්,‍ යටිතල පහසුකම්, නව බලශක්ති, තොරතුරු හා සන්නිවේදන වැනි අංශවල සහයෝගිතා තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද චීන අගමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් කුමරු එහිදී පැවසුවේ මිත්‍ර හුවමාරු සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් සෞදි අරාබිය හා චීනය සතු බවයි. එසේම, සල්මාන් රජුගේ හා ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ උපායමාර්ගික උපදෙස් යටතේ දෙරට සබඳතාවන් හි උසස් මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගැනීමට හැකි වී තිබේ. පලස්තීන අර්බුදයේ දී චීනයේ ස්ථාවරය සෞදි අරාබියේ ඉහළ ඇගැයීමට ලක්වන බව පැවසූ අල් සවුද් කුමරු ජාත්‍යන්තර බහුපාර්ශ්වික කටයුතුවල දී චීනය සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව ද කියාසිටියේය.

අරෝෂා සමරදිවාකර
බෙයිජිං සිට..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *